පසුගිය කාලසීමාවේ පැවති “විස්තීරණ ආපදා” අවස්ථාවලදී සහන සේවා, ප්‍රතිස්ථාපන සහ නැවත පදිංචි කිරීමේ රාජකාරිවල නිරත වූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් විශේෂ දීමනා ගෙවීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 2025 නොවැම්බර් 21 දින සිට බලපැවැත්වෙන පරිදි මෙම දීමනා හිමිවන අතර, ඒ සඳහා වන මූලික කොන්දේසි සහ ගෙවීම් ක්‍රමවේද මෙසේය:
සාමාන්‍ය වැඩකරන දිනවලදී තම රාජකාරි වේලාවට අමතරව දිනකට අවම වශයෙන් පැය 04ක් ආපදා රාජකාරිවල යෙදිය යුතු අතර, මසකට උපරිම දින 10ක් සඳහා මෙම දීමනාව හිමිවේ. අතිකාල හිමි නිලධාරීන්ට මසකට උපරිම පැය 240ක සීමාවට යටත්ව, පැය 04 ඉක්මවන අමතර කාලය සඳහා අතිකාල දීමනා ද ලබාගත හැකිය. සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල පැය 08ක් සේවය කරන මාණ්ඩලික හා ක්ෂේත්‍ර නිලධාරීන්ට වැටුපෙන් 1/30ක දීමනාවක් හිමිවන අතර, ඊට අමතරව පැය 04ක ආපදා රාජකාරි කළහොත් විශේෂ දීමනාව ද හිමිවේ.
ග්‍රාම නිලධාරීන් සඳහා විශේෂ දීමනා යටතේ පරිපාලන ග්‍රාම නිලධාරීන් සඳහා මසකට දින 10ක උපරිමයකට යටත්ව දිනකට රු. 1,500 ක අමතර දීමනාවක් ද, සාමාන්‍ය ග්‍රාම නිලධාරීන් සඳහා දිනකට රු. 1,000 ක අමතර දීමනාවක් ද හිමිවේ. නිවාඩු දිනවල රාජකාරි කිරීම වෙනුවෙන් අනෙකුත් දීමනාවලට අමතරව මෙම ගෙවීම් සිදු කෙරෙනු ඇත.
දේපළ හානි තක්සේරු කමිටු සාමාජිකයින්ට දැනටමත් රු. 100ක දීමනාවක් ලැබෙන බැවින්, එම කාර්යය සඳහා වැය කරන කාලය මෙම නව දීමනාව ගණනය කිරීමට යොදා නොගත යුතුය. අදාළ දීමනා ගෙවීමේදී නිලධාරීන් ඵලදායී ලෙස සේවය කළ බවට ආයතන ප්‍රධානියා සෑහීමකට පත්විය යුතු අතර, මුදල් රෙගුලාසිවලට අනුකූලව ගෙවීම් සිදුකළ යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.













