ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (අප්‍රේල් 07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වූ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2025 වසර තුළ පමණක් උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බවත්, ඉතිරි ඉඩම් ද ජන ජීවිතයට බාධා නොවන අයුරින් ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත්ය.
උතුරු පළාත නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මතු කළ කරුණු පදනම් කරගනිමින්, ආරක්ෂක අංශ භාරයේ පවතින මාර්ග විවෘත කිරීම සහ ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් ගැටලු නිරාකරණය කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් නිදහස් කරන අතරම, එම ඉඩම් කර්මාන්ත සහ ආර්ථික කටයුතු සඳහා ඵලදායී ලෙස කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මීට අමතරව, මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙන්ම පීඩාවට පත් වූ ගොවි ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. ජාතික ආරක්ෂාව තහවුරු කරන අතරම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ගැටලුවලට සාධනීය විසඳුම් ලබා දීම රජයේ මූලික අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













