සේවය හැර ගොස් සිට නැවත සේවයට එක් වූ පුද්ගලයෙකුගේ සේවා කාලය දීර්ඝ කර දීම සඳහා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියට අදාළව රිමාන්ඩ් කර සිටි දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ ගුරු උපදේශකවරයා අද (03) ඇප මත මුදා හැරිණි. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතර ඔවුන්ට විදේශ ගමන් තහනමක් ද පනවන ලදී.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදීම අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. සේවය අත්හිටුවා සිටි පුද්ගලයෙකුගේ පත්වීම් ලිපිය සකස් කර දීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මොවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අල්ලස් කොමිසම මගින් තවදුරටත් ක්‍රියාත්මක වේ.














