පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැක කෙරෙන බුදු පිළිමයක් සහ මැණික් ගල් කිහිපයක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකාරියන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරක් මත සල්පිටිගම – සඳුන්පුර මාර්ගයේදී ඊයේ (15) සවස සිදුකළ මාර්ග බාධක පරීක්ෂාවකදී මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් සන්තකයේ තිබී පුරාවිද්‍යාත්මක බුදු පිළිමයට අමතරව මැණික් ගල් බවට සැක කරන නිල් පැහැති ගල් 03ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 26, 53 සහ 55 යන වයස්වල පසුවන මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රදේශවල පදිංචි සැකකාරියන් තිදෙනෙකු සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. සෙසු සැකකරුවන් දෙදෙනා බිබිල සහ මිණිපේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 32 සහ 62 පසුවන පුද්ගලයින් වේ. මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී තවත් එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර ඔහු සොයා මේ වන විට විශේෂ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියමයෙන් සහ අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදුකෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














