දිල්ලියේ යමුනා නදිය පිරිසිදු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ඉහළ පෙළේ නිලධාරීන්ට සහ ප්‍රභූවරුන්ට (VIP) භාවිත කිරීමට සැලසුම් කළ රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බෝට්ටු දෙකක් මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටිය දැඩි විවේචන මධ්‍යයේ අවලංගු කර තිබේ. මෙම අධික වියදම් සහිත ව්‍යාපෘතියට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය ද වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
එක් බෝට්ටුවක වටිනාකම රුපියල් කෝටි 3කට අධික වූ අතර එහි වායුසමීකරණය කළ මැදිරි, ව්‍යාපාරික පන්තියේ (Business Class) ආසන, ‘සත්ව හිංසනයෙන් තොර’ ලෙදර් (Vegan Leather) ආවරණ සහ දැවමය නිමාවකින් යුත් අත්වාරු ඇතුළු අතිසුඛෝපභෝගී පහසුකම් රැසක් ඇතුළත් කිරීමට සැලසුම් කර තිබුණි. පුද්ගලයන් 16 සිට 20 දක්වා ප්‍රමාණයකට ගමන් කළ හැකි මෙම බෝට්ටුවල ආහාර සැපයීම සඳහා වෙනම මුළුතැන්ගෙයක් (Pantry) ද ස්ථාපනය කිරීමට යෝජනා වී තිබුණි.
යමුනා නදිය පිරිසිදු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙනවා වෙනුවට මෙලෙස ප්‍රභූවරුන් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම “මහජන මුදල් නාස්තියක්” ලෙස හඳුන්වමින් ආම් ආද්මි පක්ෂය (AAP) සහ කොංග්‍රස් පක්ෂය දිල්ලි රජයට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. මෙම පුවත මුලින්ම වාර්තා වීමෙන් පසු ඇති වූ දේශපාලන ආන්දෝලනය හමුවේ මාර්තු 12 වැනිදා නිකුත් කර තිබූ අදාළ ටෙන්ඩරය අවලංගු කර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.














