දිල්ලියේ නන්ග්ලෝයි (Nangloi) ප්‍රදේශයේ අද (09) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරක් හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. දිල්ලි ප්‍රවාහන මණ්ඩලයට (DTC) අයත් බස් රථයක් පදිකයන් සහ වාහන කිහිපයක් යටකරමින් ගමන් කිරීම නිසා පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීම මෙයට හේතුවයි.
වේගයෙන් පැමිණි බස් රථය පළමුව ස්කූටරයක ගමන් කළ තරුණයෙකු යටකර ඇති අතර, ඔහු එම ස්ථානයේදීම මියගොස් තිබේ. අනතුරුව බස් රථය ඊ-රික්ෂෝ රථයක සහ තවත් පදිකයන් කිහිපදෙනෙකුගේ ඇඟ මතින් ධාවනය වී ඇති අතර, එහිදී තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරෙන් පසු එම ස්ථානයට රැස්වූ ප්‍රකෝපකාරී පිරිසක් බස් රථයට ගල් ප්‍රහාර එල්ල කර එහි වීදුරු කුඩු කර දමා පසුව එයට ගිනි තබා තිබේ. අවට නවතා තිබූ තවත් වාහන කිහිපයකට ද විරෝධතාකරුවන් විසින් හානි කර ඇති බව වාර්තා වේ.
පෙරවරු 10ට පමණ බස් රථයට ගිනි තබා ඇති අතර, ගිනි නිවන ඒකක මැදිහත් වී පෙරවරු 11 වන විට ගින්න නිවා දැමීමට සමත්ව ඇත. තුවාල ලැබූවන් සංජේ ගාන්ධි අනුස්මරණ රෝහලට ඇතුළත් කර තිබේ. දිල්ලි පොලිසිය සඳහන් කරන්නේ මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත්ය.















