ජම්මු සහ කාශ්මීරයේ ක්‍රියාත්මක වන ලෂ්කර්-ඊ-තායිබා (LeT) ත්‍රස්ත කල්ලි සාමාජිකයෙකු වන ෂබීර් අහමඩ් ලෝන්, දිල්ලි පොලිසියේ විශේෂ අංශය (Special Cell) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු පසුගිය පෙබරවාරි මාසයේදී දිල්ලි නුවර ජන්පත් (Janpath) ඇතුළු මෙට්‍රෝ දුම්රිය ස්ථාන කිහිපයක පකිස්ථාන හිතවාදී සහ ත්‍රස්තවාදය වර්ණනා කරන පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ ප්‍රධාන මෙහෙයවන්නා (Handler) ලෙස හඳුනාගෙන ඇත.
පොලිස් වාර්තා වලට අනුව, මෙම පෝස්ටර්වල මරා දමන ලද ජයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්තවාදියෙකු වන බුර්හාන් වානිගේ (Burhan Wani) ඡායාරූප සහ “අපි පකිස්ථානුවන්, පකිස්ථානය අපේ මව්බිමයි” වැනි උද්වේගකර පාඨයන් අන්තර්ගත වී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් අන්තගාමී පිරිස් ප්‍රශ්න කිරීමේදී, ඔවුන් මෙහෙයවනු ලැබුවේ ෂබීර් අහමඩ් ලෝන් විසින් බව හෙළි වී තිබේ. ඔහු දිල්ලි නගරය තුළ තවදුරටත් ත්‍රස්ත ප්‍රහාර හෝ කලබල ඇති කිරීමට සැලසුම් කර තිබූ බවට ද සැක කෙරේ.
දිල්ලි පොලිසිය පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම හරහා ඉන්දියාවේ ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වීමට තිබූ විශාල ත්‍රස්ත ජාලයක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි. මේ වන විට ෂබීර් අහමඩ් ලෝන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර, ඔහුට සහය දුන් අනෙකුත් පුද්ගලයින් සොයා දිල්ලි සහ කාශ්මීරය කේන්ද්‍ර කර ගනිමින් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.














