බලශක්ති අමාත්‍යවරයා කිසිදු අධිකරණයකින් වරදකරුවෙකු වී නොමැති බවත්, එවැන්නක් තිබේ නම් අදාළ නඩු අංකය ඉදිරිපත් කරන ලෙසත් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විපක්ෂයට අභියෝග කළේය. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ගල් අඟුරු ටෙන්ඩරයේදී යම් තාක්ෂණික ගැටලුවක් මතු වූ බවත්, එය නිවැරදි කර අදාළ සමාගමෙන් වන්දි අය කර ගැනීමට පියවර ගෙන ඇති බවත් මෙහිදී ප්‍රකාශ විය. වර්තමානයේ නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් වටගල මහතා, මෑතකදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය FCID වෙත පැමිණීමත්, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය CID වෙත පැමිණීමට නියමිතව තිබීමත් ඊට උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, මෙහිදී නැගී සිටි සමගි ජන බලවේගයේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා චෝදනා කළේ කම්කරු විනිශ්චය සභාවක් මගින් බලශක්ති අමාත්‍යවරයා මීට පෙර දැරූ ධුරයකින් ඉවත් කර ඇති බවයි. එම තොරතුරු අල්ලස් කොමිසමට ද දැනුම් දී ඇති බවත්, අවශ්‍ය නම් එහි අංක ඉදිරිපත් කළ හැකි බවත් ඔහු පැවසීය. ඊට පිළිතුරු දෙමින් සුනිල් වටගල මහතා අවධාරණය කළේ කම්කරු විනිශ්චය සභාවක තීන්දුවක් යනු අධිකරණයකින් පුද්ගලයෙකු වරදකරු කිරීමක් නොවන බැවින්, පට්ට පල් අසත්‍ය ප්‍රචාර සිදු නොකරන ලෙසයි.














