දෙවිනුවර පිරවුම්හල අසලදී පසුගිය 21 වැනිදා දහවල් සිදුවූ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු වන සිරිල් හෙන්දාවිතාරණ හෙවත් ‘ඩිලයිට්’ (55) නමැත්තාගේ වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව ගන්දර පොලිසිය පවසයි. සිය දරුවා උපකාරක පන්තියකට ඇරලවා ආපසු පැමිණීමට උත්සාහ කිරීමේදී මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් ඔහුට වෙඩි තබා පලා ගොස් තිබේ.
ඝාතනයට ලක් වූ ඩිලයිට් නමැත්තා කලක් තිස්සේ පාතාල කණ්ඩායම්වල මරණ තර්ජනයට ලක්ව සිටි අයෙකු බවත්, ඒ හේතුවෙන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ උපදෙස් මත පොලිස් ආරක්ෂාව පවා ඔහුට හිමිව තිබූ බවත් විමර්ශනවලදී හෙළි වී ඇත. එසේ තිබියදීත් ඔහු පොලිස් උපදෙස් නොතකා නිවසින් බැහැරව ගිය අවස්ථාවක මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මියගිය පුද්ගලයා මීට පෙර ගිනිඅවි ළඟ තබා ගැනීම, හෙරොයින් ජාවාරම සහ මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
ඝාතකයින් පලා යාමට යොදාගත් සුදු පැහැති මෝටර් රථය අකුරැස්ස, පරදුව ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. එම රථය තුළ තිබී ජීව උණ්ඩ කිහිපයක් ද හමුවී තිබේ. සීසීටීවී (CCTV) දර්ශන සහ බුද්ධි තොරතුරු ඔස්සේ සිදුකරන පරීක්ෂණවලදී ඝාතකයින් ගන්දර, මාලිම්බඩ හරහා අකුරැස්ස දෙසට පලා ගිය ආකාරය තහවුරු වී ඇත.
දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් පහක් සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලිවල සම්බන්ධයක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














