එළඹෙන මාර්තු 25 වනදා ඩීසල් මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද, අඛණ්ඩ සැපයුමක් පවත්වා ගැනීම සඳහා පසුගිය මාර්තු 7 සහ 8 දිනවල පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000ක් මෙරටට ගෙන්වා ගත් බව ද ඔහු සිහිපත් කළේය.
ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, මිල වැඩි කළ ද රජය තවමත් විශාල පිරිවැයක් දරා ගනිමින් සහන සපයන බව අවධාරණය කළේය. ඒ අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 100ක මුදලක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක මුදලක් රජය විසින් සහනාධාර ලෙස දරන බවත්, ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක අතිවිශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් ඔහු පැවසීය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විටත් පාඩු ලබමින් මෙම සේවාව පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අනාවරණය කළේය.












