ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීම ඊයේ (12) දින සිට ආරම්භ කල බව මහබැංකුව පවසයි.
ඒ අනුව NPCI International Payments Limited සහ ශ්‍රී ලංකාවේ LankaPay පුද්ගලික සමාගම ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන වේගයෙන් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගනිමින් වෙළෙඳසැල් 10,000ක මෙම ගෙවීම් ක්‍රමය ක්‍රියාවට නැංවීම මේ හා සමගාමීව සිදු කෙරෙන අතර මෙම පහසුකම තවදුරටත් පුළුල් කරමින්, 2024 මාර්තු මාසය වන විට මෙම වෙළෙඳසැල් සංඛ්‍යාව 65,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිත බව මෙහිදී අනාවරණය කෙරිණි.
තම ගිණුම අයත් මූල්‍ය ආයතනය හා සම්බන්ධ වී වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ මහ බැංකුවේ අධ්යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි සියලුම බැංකු හා මූල්‍ය ආයතන එම කේතය නිකුත් කිරීමට බැඳී සිටින බවද ඒ මහතා අවධාරණය කළේය.
බොහෝ ඉන්දියානුවන් QR කේත ගෙවීම්වලට පුරුදු වී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා සිටින වෙළෙඳ ප්‍රජාවට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා ඉන්දියානු සංචාරකයන්ට UPI-සක්‍රිය ජංගම යෙදුම් බාධාවකින් තොරව භාවිතා කළ හැකි වේ.
දැනටමත් දේශීය ගනුදෙනු සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක් වන LankaQR මඟින් QR කේතයක ස්කෑන් කිරීමකින් සරලව ගෙවීම් සිදු කිරීම සඳහා අවස්ථාව සැලසේ.
මෙමඟින් සිදු කෙරෙන ගෙවීම් අදාළ ගිණුමට ශ්‍රී ලංකා රුපියල්වලින් බැර වන අතර එය කෙටි පණිවිඩයක් මඟින් එසැණින් දැනුම් දෙනු ලබයි.
එලෙස ලබන ආදායම ඔවුන්ගේ ගිණුම්වලට බැර වීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මාස 06ක් වැනි කෙටි කාලයකින් බැංකු ණය ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.
මෙහි දෙවැනි අදියරේදී මෙම ක්‍රමය තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියාවේදී මේ ආකාරයෙන් QR කේතය හරහා ගෙවීම් කිරීමේ පහසුකම ලබා දීමට අපේක්ෂා කෙරේ.
LankaPay සභාපති ආචාර්ය කෙනෙත් ද සිල්වා , LankaPay ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා, LankaQR ක්‍රියාත්මක කිරීමේ කමිටුව වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ඩිජිටල් බැංකුකරණ) රන්දිල් බොතේජු, Fintech නියෝජනය කරමින් LOLC සභාපති කොන්රඩ් ඩයස් යන මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.