දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර තිබූ 23 හැවිරිදි තරුණියකගේ මළ සිරුරකට එම රෝහලේම සේවකයන් තිදෙනෙකු විසින් ලිංගික අපචාරයක් සිදුකළ බවට එල්ල වන චෝදනාවට එරෙහිව සංවිධානය කර තිබූ විරෝධතාවකට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
ලංකා කම්කරු කොංග්‍රසයේ (CWC) මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජිවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිසක් විසින් රෝහල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර තිබුණි. නෝර්වුඩ් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, රෝහල ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් රෝගීන්ට, වෛද්‍යවරුන්ට සහ රෝහල් දේපළවලට හානි සිදුවිය හැකි බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සහ රෝහල් පාලනාධිකාරියේ ත්‍රිපුද්ගල කමිටු පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ද පොලිසිය පෙන්වා දුන්නේය.
අධිකරණ නියෝගය ලැබීමෙන් පසු ජිවන් තොන්ඩමන් මහතා ඇතුළු පිරිස උද්ඝෝෂණය නතර කළ අතර, ඔවුන් අවධාරණය කළේ මියගිය තරුණියට සාධාරණය ඉටු කිරීම සඳහා පරීක්ෂණ අපක්ෂපාතීව සහ කඩිනමින් සිදු කළ යුතු බවයි. හැටන් කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා ද එම ස්ථානයට පැමිණ විමර්ශන කටයුතු නිසි පරිදි සිදුවන බවට සහතිකයක් ලබා දුන්නේය.














