දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළදී 23 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් එම රෝහලේම සේවකයන් තිදෙනෙකු විසින් දූෂණය කළේ යැයි කියන අතිශය කම්පන සහගත සිදුවීමට අදාළ විමර්ශන කටයුතු සඳහා රෝහලේ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය පොලිස් භාරයට ගෙන තිබේ. හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත නෝර්වුඩ් පොලිසිය විසින් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ දත්ත ගබඩාව වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත. රෝහල් පාලන අධිකාරිය විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව මගින් පරීක්ෂා කළ දර්ශනවලට අමතරව තවත් තීරණාත්මක සාක්ෂි එහි අන්තර්ගත වී තිබේද යන්න විමර්ශනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
පසුගිය මස 23 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම සාපරාධී ක්‍රියාව සම්බන්ධයෙන් චෝදනා ලැබූ සැකකාර සේවකයන් තිදෙනා මේ වන විට ඇප මත පසුවන අතර, ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද පොලිසිය කටයුතු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මුල් අවධියේදී රෝහල් පාලනාධිකාරිය කිසිදු පියවරක් නොගත් බවට ප්‍රදේශවාසීන් චෝදනා කළ අතර, මේ මස 03 වැනිදා රෝහල ඉදිරිපිට පැවති මහජන උද්ඝෝෂණයෙන් පසුව රෝහල් අධිකරණ වෛද්‍යවරයා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කෙරිණි. මේ වන විට අදාළ සේවකයන් තිදෙනා රෝහලෙන් තාවකාලිකව ඉවත් කර නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය වෙත මාරු කර යවා ඇත.
හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම විමර්ශනයට අදාළ නඩුව 2026 මැයි මස 18 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියෝග කර තිබේ. සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් ප්‍රදේශවාසීන් දිගින් දිගටම බලපෑම් කරමින් සිටින පසුබිමක, CCTV දත්ත මගින් සිද්ධියට අදාළ විද්‍යාත්මක සාක්ෂි අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් අපේක්ෂා කරයි.














