දික්ඔය මූලික රෝහලේ මෘත ශරීරාගාරය තුළ තැන්පත් කර තිබූ මළ සිරුරකට අගෞරව වන අන්දමින් කටයුතු කළ බවට එල්ල වූ චෝදනාවක් මත රෝහල් සේවකයින් තිදෙනෙකුට එරෙහිව ප්‍රදේශවාසීන් සහ මියගිය පුද්ගලයාගේ ඥාතීන් රෝහල ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක නිරත විය. “මළ මිනියකටවත් නිදහසේ ඉන්න දෙන්නේ නැති” තත්ත්වයක් රෝහල තුළ පවතින බව පවසමින් විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ අදාළ සේවකයින්ට එරෙහිව වහාම විනයානුකූල පියවර ගන්නා ලෙසයි.
සිද්ධියට අදාළව වාර්තා වන තොරතුරුවලට අනුව, මෘත ශරීරාගාරයේ සේවය කරන සේවකයින් තිදෙනෙකු බීමත්ව සිට ඇති බවටත්, ඔවුන් මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සූදානම් කිරීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බවටත් චෝදනා එල්ල වී තිබේ. විරෝධතාවය හේතුවෙන් රෝහල් පරිශ්‍රයේ දැඩි උණුසුම්කාරී ස්වභාවයක් පැවති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් ද කැඳවීමට සිදු විය. රෝහල් පාලනාධිකාරිය පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් වහාම ආරම්භ කර ඇති බවත්, වරදකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත්ය.
















