දිඹුලාගල කොස්ගහ උල්පත රක්ෂිතයේ දැවැන්ත වන සංහාරයක් සිදුවන බවට පළවූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පරිසර අමාත්‍යාංශය පවසයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ පසුගිය කාලයේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කොස්ගහ උල්පත ආරණ්‍ය සේනාසනයට පිවිසෙන මාර්ගයට කඩා වැටුණු ගස්වල අතු ඉවත් කිරීම පමණක් එහිදී සිදුව ඇති බවයි. පලු, වීර, මිල්ල වැනි වටිනා ශාක ජාවාරම්කරුවන් විසින් විනාශ කරන බවට පළවූ වාර්තා පදනම් විරහිත බවත්, අදාළ ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලාගේ උපදෙස් මත මාර්ගය පිරිසිදු කිරීම සඳහා එම කටයුතු සිදු කර ඇති බවත් පොළොන්නරුව දිසා වන නිලධාරීවරයා තහවුරු කර තිබේ.
විමර්ශන වාර්තාවට අනුව, මාර්ගයට කඩා වැටී තිබූ ගස්වල අතු සහ දර ප්‍රමාණය ඝන මීටර් 05ක් පමණ වන අතර, ඒවා මේ වන විටත් රාජ්‍ය දැව සංස්ථාවට භාරදීමට කටයුතු කර ඇත. මෙම දර තොගය කිසිදු බාහිර ස්ථානයකට ප්‍රවාහනය කර නොමැති අතර එක් ස්ථානයක ගොඩගසා ඇති බව නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ. අදාළ ඉඩමෙහි හිමිකාරිත්වය සම්බන්ධයෙන් මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින බැවින් රක්ෂිතය ගැසට් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මායිම් කණු යොදා එය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
නව රජයේ ප්‍රතිපත්තිවලට අනුව පරිසර සංරක්ෂණයට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාවක් වැළැක්වීමට සහ රජයේ ආයතන අතර පවතින ඉඩම් ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නා බව ද අමාත්‍යාංශය අවධාරණය කරයි. මේ අනුව දිඹුලාගල රක්ෂිතය තුළ සංවිධානාත්මක වන සංහාරයක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය නිල වශයෙන් නිවේදනය කර සිටියි.














