ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන දිමුත් භාෂිත අතපත්තු මහතා ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරියේ (DPA) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි, මෙම පත්වීම 2022 අංක 09 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සහ 2025 අංක 22 දරන සංශෝධිත පනත මඟින් දක්වා ඇති රීති හා රාමු බලාත්මක කිරීමේ තීරණාත්මක පියවරකි. පුද්ගලික දත්තවල රහස්‍යභාවය සුරැකීම සහ ශ්‍රී ලංකාවේ දත්ත ආරක්ෂණ රාමුව ශක්තිමත් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
පෞද්ගලික සහ රාජ්‍ය යන අංශ දෙකෙහිම ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු හොබවා ඇති අතපත්තු මහතා, පුළුල් අත්දැකීම් සමුදායකින් හෙබි නිලධාරියෙකි. පුද්ගලයන්ගේ පෞද්ගලිකත්ව අයිතිවාසිකම් සුරැකීමට සහ වගකීම් සහගත දත්ත පදනම් කරගත් නවෝත්පාදනයන්ට සහය වීමට ඔහු සමඟ එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව දත්ත ආරක්ෂණ අධිකාරියේ සභාපති රජීව බණ්ඩාරනායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සිදුවන මෙම වැදගත් මොහොතේ, දත්ත හිමියන්ගේ අයිතිවාසිකම් සුරකින ස්වාධීන නියාමන ආයතනයක් ගොඩනැගීමට තමා කැපවන බව නව අධ්‍යක්ෂ ජනරාල් දිමුත් අතපත්තු මහතා ද අවධාරණය කළේය.
මෙම පත්වීමට පෙර අතපත්තු මහතා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ වාණිජකරණය සහ හවුල්කාරිත්ව අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. මීට අමතරව ඔහු ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සහ LK Domain Registry යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරයි. ඔහු මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක වගකීම් දරා ඇත.














