යුරෝපයේ වැඩිම පිරිසක් පැමිණෙන තේමා උද්‍යානය (Theme Park) වන පැරිස් ඩිස්නිලන්තය (Disneyland Paris), යුරෝ බිලියන 2 ක දැවැන්ත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියකින් පසු සිය නවතම ආකර්ෂණය වන “World of Frozen” පසුගිය ඉරිදා නිල වශයෙන් විවෘත කළේය. මීට පෙර ‘Walt Disney Studios’ ලෙස හැඳින්වුණු උද්‍යානය දැන් “Disney Adventure World” ලෙස යළි නම් කර ඇති අතර, එහි ප්‍රධානතම අංගය වන්නේ ලොව පුරා අතිශය ජනප්‍රිය වූ ‘Frozen’ (The Snow Queen) චිත්‍රපටයේ එන ඇරන්ඩෙල් (Arendelle) රාජධානියයි.
ප්‍රංශයේ පැරිස් නුවරට නැගෙනහිරින් පිහිටි මෙම ඉන්ද්‍රජාලික ලෝකය තුළ මනරම් කලපුවක්, නෝර්ඩික් පන්නයේ ලීවලින් නිමවූ ගම්මානයක් සහ දරුවන් සමඟ කතා කළ හැකි රොබෝ තාක්ෂණික හිම මිනිසෙකු (Olaf) ඇතුළත් කර තිබේ. මෙහි පැමිණෙන අමුත්තන්ට ‘Frozen Ever After’ සංගීතමය නෞකා සංචාරයක (Musical Cruise) යෙදෙමින් ඇනා සහ එල්සා යන කුමරියන් හමුවීමටත්, චිත්‍රපටයේ එන සුප්‍රකට ගීත ගායනා කරමින් උතුරු කන්දේ සිට එල්සාගේ අයිස් මාලිගය දක්වා සංචාරය කිරීමටත් අවස්ථාව උදා වේ.
වර්තමානයේ පවතින ඉන්ධන මිල ඉහළ යාම සහ ආර්ථික අභියෝග හමුවේ වුවද, සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ඩිස්නි සමාගම විසින් සිදුකළ මෙම දැවැන්ත ආයෝජනය යුරෝපයේ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නව පෙරළියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම පාස්කු නිවාඩු සමය එළඹෙන මෙම වකවානුවේදී ලොව පුරා සංචාරකයින් විශාල පිරිසක් මෙම නවතම අත්දැකීම විඳගැනීම සඳහා පැමිණෙනු ඇතැයි උද්‍යාන බලධාරීහු විශ්වාසය පළ කරති.














