2025 වසරේදී මෙරටට බලපෑ ‘දිට්වා’ ව්‍යසනයෙන් බරපතල ලෙස හානියට පත් මහාමාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතිය නිත්‍ය ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO), මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ තාක්ෂණික වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වූයේ, මහාමාර්ග ආශ්‍රිතව හඳුනාගෙන ඇති නායයාම් 400ක් සහ දුම්රිය මාර්ග පද්ධතියට සිදුව ඇති හානි 70ක් සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක පරීක්ෂණ සිදුකර කඩිනමින් වාර්තා ලබාදීමටයි.
මෙම වැඩපිළිවෙලෙහි සුවිශේෂීත්වය වන්නේ, මින් ඉදිරියට සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු හුදෙක් තාවකාලික පිළියම්වලින් ඔබ්බට ගොස් NBRO ආයතනයේ විද්‍යාත්මක වාර්තා මත පදනම්ව වඩාත් ස්ථාවර සහ ආරක්ෂිත අයුරින් සිදු කිරීමයි. මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් දැනටමත් ලබා දී ඇති අතර, ආයතන අතර පැවති සම්බන්ධීකරණ දුර්වලතා මඟහරවා ගනිමින් මහජනතාව නගන චෝදනාවලට විසඳුම් ලෙස ඉදිකිරීම් වේගවත් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව, මාර්ග 400කට සහ දුම්රිය මාර්ගවල දැඩි හානි සිදුවූ ස්ථාන 22කට අදාළ සියලු භූ විද්‍යාත්මක වාර්තා එළඹෙන මාර්තු 31 වන දිනට පෙර ලබාදීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එකඟතාව පළ කර ඇත.
මෙම ඒකාබද්ධ මෙහෙයුම හරහා දිට්වා ආපදාවෙන් අඩපණ වූ ජන ජීවිතය යථාවත් කිරීමටත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කර නියමිත දින වකවානුවලට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ඇතුළු විශේෂඥ විද්‍යාඥයින් පිරිසක් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් මෙම ජාතික වැදගත්කමකින් යුත් ව්‍යාපෘතියට සෘජුව දායකත්වය ලබා දෙයි.














