“ඩිට්වා” (Ditwah) සුළි කුණාටුව හමුවේ මෙරට ආපදා කළමනාකරණ පද්ධතියේ පැවති අඩුපාඩු සහ ආයතනික ක්‍රියාකාරීත්වය විමර්ශනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ මංගල රැස්වීම පසුගියදා (19) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණි. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී, ස්වභාවික ආපදාවකදී මෙරට වගකිවයුතු ආයතන ක්‍රියා කළ ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම කාරක සභාවේ මූලික අරමුණ විය යුතු බව අවධාරණය කෙරිණි.
මෙහිදී ගනු ලැබූ තීරණ අනුව, ඉදිරි රැස්වීම් දෙක සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යන ආයතනවල නිලධාරීන් කැඳවීමට නියමිතය. එසේම, සංකීර්ණ තාක්ෂණික කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී විෂය ප්‍රවීණයන්ගේ සහාය ලබා ගැනීමට ද කාරක සභාව එකඟතාව පළ කර ඇත.
මෙම විශේෂ කාරක සභාව විසින් සිය අවසන් වාර්තාව මාස තුනක් ඇතුළත, එනම් 2026 ජූනි මස 19 වන දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. ඩිට්වා සුළි කුණාටුවෙන් අනාවරණය වූ අඩුපාඩු හඳුනා ගැනීමට අමතරව, අනාගතයේදී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ ද මෙම වාර්තාවට ඇතුළත් වන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය. මෙම රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වූහ.













