දේශීය නිෂ්පාදනවල මිලට වඩා අඩු මිලකට මෙරට අලෙවි කරනු ලබන ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි. මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද සහ කළුදෑවල කර්මාන්ත පුරයන්හි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දේශීය නිෂ්පාදනවලට වඩා අඩු මිලකට ආනයනික භාණ්ඩ අලෙවි කරන අවස්ථාවන් පිළිබඳව වහාම පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි. විශේෂයෙන්ම පාවහන්, ටයිල්, ලයිටර් සහ ගිනිකූරු වැනි නිෂ්පාදන නියමිත මිල සීමාවන්ටත් වඩා අඩුවෙන් මෙරට වෙළඳපොළේ අලෙවි වන බවට තොරතුරු ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙලෙස අසාමාන්‍ය ලෙස අඩු මිලට අලෙවි කරනු ලබන්නේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද භාණ්ඩ විය හැකි බවත්, එවැනි අවස්ථාවන් ක්‍රමවත් ලෙස රජයට වාර්තා කිරීම දේශීය නිෂ්පාදකයින්ගේ වගකීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙම තත්ත්වය පාලනය කිරීම රජයට පමණක් තනිව කළ නොහැකි කාර්යයක් බව පෙන්වා දුන් හඳුන්නෙත්ති මහතා, දේශීය කර්මාන්ත සුරක්ෂිත කිරීම සඳහා නිෂ්පාදකයින් සහ රජය එක්ව කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය. දේශීය ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම උදෙසා ඉදිරියේදී නව පනත් මගින් වෙළඳපොළ අක්‍රමිකතා මැඩපැවැත්වීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී සහතික විය.














