වාහන සඳහා අලුතින් බදු පනවා ඇති බවට පැතිර යන පුවත් පදනම් විරහිත බවත්, රජය හඳුන්වා දුන් නව බදු එකතු කිරීමේ උපක්‍රමය හරහා ඇත්ත වශයෙන්ම වාහන මිල අඩුවිය යුතු බවත් මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. මෙතෙක් කල් වාහනයක් විකුණන අවස්ථාවේදී අය කළ 2.5%ක සමාජ ආරක්ෂණ බද්ද (SSCL), මින් ඉදිරියට වාහනය ආනයනය කරන අවස්ථාවේදීම රේගුව මගින් අය කිරීමට රජය තීරණය කර තිබේ. මෙමගින් බදු අක්‍රමිකතා වැළැක්වෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැරණි ක්‍රමය යටතේ වාහනයේ විකුණුම් මිල මත බදු අය කළ ද, නව ක්‍රමය යටතේ බදු අය කරන්නේ වාහනයේ ආනයනික වටිනාකම මත පමණක් බවයි. බදු අය කරන පදනම් වටිනාකම අඩු වන නිසා වාහනයක මිල සැබවින්ම අඩු විය යුතු බවත්, ඇතැම් පිරිස් වාහන මිල වැඩි වන බව පවසන්නේ තම වාහන අලෙවි කරගැනීමේ උපක්‍රමයක් ලෙස විය හැකි බවත් ඔහු සඳහන් කළේය. මෙය කිසිසේත්ම අතිරේකව පැනවූ බද්දක් නොවන බව ද අමාත්‍යවරයා සහතික කළේය.














