ඉරාකය සහ ඉරානය අතර පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, බැග්ඩෑඩ් (Baghdad) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල පිහිටි ප්‍රධාන ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික පහසුකම් මධ්‍යස්ථානයකට ඊයේ (10) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් (pro-Tehran militias) විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක කෙරෙන අතර, මෙය ඇමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ මෙහෙයුම්වලට එරෙහිව එල්ල කළ ප්‍රතිප්‍රහාරයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බැග්ඩෑඩ් ගුවන්තොටුපොළට යාබදව පිහිටි ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික සේවා මධ්‍යස්ථානයක් (US diplomatic support facility) ඉලක්ක කර ගනිමින් මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇති බව ‘The Washington Post’ පුවත්පත තහවුරු කරයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකරන යුදමය ක්‍රියාමාර්ගවලට පළිගැනීමක් ලෙස ටෙහෙරාන් හිතවාදී සන්නද්ධ කණ්ඩායම් මෙම ප්‍රහාරය දියත් කර ඇති බව ආරක්ෂක අංශවල අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ජෝන් හඩ්සන් (John Hudson) නමැති මාධ්‍යවේදියා සඳහන් කළේය. ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව නිල වශයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, ප්‍රහාරයත් සමඟ කලාපයේ ඇති ඇමෙරිකානු මධ්‍යස්ථාන වෙත දැඩි ආරක්ෂක උපදෙස් (Internal alerts) නිකුත් කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින ඇමෙරිකානු මැදිහත්වීම් තවදුරටත් අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති අතර, කලාපීය යුද්ධයක් දක්වා මෙය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව දේශපාලන විචාරකයෝ පවසති.














