“මතින් තොර රටක්” නිර්මාණය කිරීමේ වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ යටතේ ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය මේ වන විට දිවයින පුරා අති සාර්ථකව ක්‍රියාත්මක වේ. පාසල් දරුවන් සහ තරුණ පරපුර මත් උවදුරෙන් ගලවා ගැනීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම දැවැන්ත වැටලීම් මාලාවක් ද මීට සමගාමීව සිදු කෙරේ.
ඊයේ (මාර්තු 02) දිනය තුළ පමණක් දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 31,076 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 630 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 248 දෙනෙකු අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුකරුවන් වන අතර 159 දෙනෙකු බීමත් රියදුරන් වේ.
ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වැටලීම් සිදු කරයි. මෙහි විශේෂත්වය වන්නේ විදේශගතව සිට මෙරට ජාවාරම් මෙහෙයවන පුද්ගලයින් ද හඳුනාගෙන ඔවුන් මෙරටට ගෙන්වා නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගැනීමයි.
මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව හොරණ පොලිස් ස්ථානාධිපති රංග පෙරේරා මහතාගේ මූලිකත්වයෙන් හොරණ නගරයේදී දැනුවත් කිරීමේ ස්ටිකර් ඇලවීමේ සහ අත්පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ද අද (මාර්තු 03) ක්‍රියාත්මක විය.
මීට අමතරව, රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3,677 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇති අතර, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පාසල් මට්ටමින් ද සංවිධානය කර ඇත.














