ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක දර්ශන ඇතුළත් වීඩියෝවක් පෞද්ගලික WhatsApp සමූහයක් (Group) වෙත යොමු කිරීම හේතුවෙන් 25 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවකයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට වසර දෙකක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති බව වාර්තා වේ.
ඉරානය සමඟ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ, සිදුවන ප්‍රහාර හෝ හානි පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා ගැනීම, පළ කිරීම හෝ ප්‍රචාරය කිරීම එරට සයිබර් අපරාධ නීතිය යටතේ බරපතළ වරදකි. එවැනි ක්‍රියාවල නිරත වන්නන්ට අවම වශයෙන් වසරක සිරදඬුවමක් සහ ස්ටර්ලින් පවුම් 20,000ක (රුපියල් ලක්ෂ 70කට අධික) දඩයක් නියම කළ හැකි බවට බලධාරීන් මීට පෙර අනතුරු අඟවා තිබුණි.
අදාළ ගුවන් සේවකයා පවසා ඇත්තේ එම අවස්ථාවේ පවතින ආරක්ෂිත තත්ත්වය පිළිබඳව විමසීම සඳහා බියෙන් යුතුව මෙම වීඩියෝව හුවමාරු කළ බවයි. කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැඩි නීති රීති හමුවේ සංචාරකයින් සහ පදිංචිකරුවන් මෙවැනි සංවේදී දර්ශන සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටිය යුතු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.














