ඉරාන-ඇමෙරිකා යුද ගැටුම් උච්චතම අවස්ථාවට පත්ව ඇති පසුබිමක, ලොව කාර්යබහුලම ගුවන් තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (DXB) ආශ්‍රිතව අද (07) පෙරවරුවේ විශේෂ ආරක්ෂක තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. FlightRadar 24 දත්තවලට අනුව ඩුබායි ගුවන් තොටුපොළට ඉහළින් වූ ගුවන් අවකාශය මේ වන විට සම්පූර්ණයෙන්ම හිස් කර ඇති අතර ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී ඇත.
ඩුබායි මාධ්‍ය ඒකකය නිවේදනය කළේ, එල්ල වූ ප්‍රහාරයක් ගුවනේදීම ව්‍යර්ථ කිරීමෙන් පසු කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් සුළු සිදුවීමක් වාර්තා වූ නමුත් එය පාලනය කර ඇති බවයි. ගුවන් තොටුපොළේ ගින්නක් ඇති වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති බව ද තහවුරු කර තිබේ.
කෙසේ වෙතත්, පවතින මිසයිල තර්ජනය සැලකිල්ලට ගෙන ගුවන් තොටුපොළ බලධාරීන් විසින් හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිටින සියලුම මගීන්ට සහ කාර්ය මණ්ඩලයට වහාම ආසන්නතම ආරක්ෂිත ස්ථාන (Shelters) කරා යන ලෙසත්, ජනෙල් සහ විවෘත ස්ථානවලින් ඈත් වී සිටින ලෙසත් උපදෙස් දී තිබේ. මීට පෙර ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය සහ බහරේනය වැනි රටවල ගුවන් තොටුපොළවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා විය.
















