ඩුබායි හි අල්-ෆුත්තයිම් (Al-Futtaim) සමූහ ව්‍යාපාරයට අයත් ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගම (AMW) සිය සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් නවතම මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් පසුගියදා මීගමුව නගරයේදී විවෘත කරන ලදී. සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, ව්‍යාපාරික හවුල්කරුවන් සහ ප්‍රදේශයේ ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා ප්‍රකාශ කළේ මීගමුව යනු ඉතා කාර්යබහුල වාණිජ සහ නේවාසික කලාපයක් බැවින් මෙම නව ප්‍රදර්ශනාගාරය හරහා එම ප්‍රදේශයේ ජනතාවට ලෝක මට්ටමේ මෝටර් රථ අත්දැකීමක් ඉතා පහසුවෙන් ලබාගත හැකි වන බවයි.
මෙම ප්‍රදර්ශනාගාරය තුළ ප්‍රමුඛ පෙළේ වාහන මාදිලි රැසක් ප්‍රදර්ශනය කර ඇති අතර ඒවා පාරිභෝගිකයින්ට කඩිනමින්ම ලබාදීමටද කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව නිසාන් (Nissan) සන්නාමයේ Magnite සහ Almera යන මාදිලි මෙන්ම සුසුකි (Suzuki) සන්නාමයේ Fronx සහ Jimny යන රථ දැනටමත් මෙහි ප්‍රදර්ශනයට තබා ඇත. ඉදිරියේදී මෙරට ජනප්‍රියතම රථ වන Celerio සහ Alto මාදිලිද ඇතුළුව තවත් වාහන මාදිලි රැසක් මෙයට එක් කිරීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනාගාරයේ ඇති තවත් සුවිශේෂී පහසුකමක් වන්නේ AMW Capital Leasing & Finance ආයතනය හරහා වාහන සඳහා අවශ්‍ය මූල්‍ය සහ ලීසිං පහසුකම් එකම වහලක් යටදී ඉතා ඉක්මනින් සලසා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමි වීමයි. වසර 75කට අධික විශ්වාසනීය ඉතිහාසයක් ඇති AMW සමාගම මීගමුවට අමතරව කොළඹ යූනියන් පෙදෙස, බොරැල්ල, මාතර සහ කුරුණෑගල යන ප්‍රදේශවලද සිය ප්‍රදර්ශනාගාර පවත්වාගෙන යනු ලබයි.














