එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති, අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා විසින් ඩුබායි රජයේ සේවකයින් සඳහා වන “මධ්‍යම දුක්ගැනවිලි කමිටුව” (Central Grievances Committee) පිහිටුවමින් 2026 අංක (5) දරන නියෝගය නිකුත් කර තිබේ. රජයේ සේවය තුළ යුක්තිය, විනිවිදභාවය සහ යහපාලනය ශක්තිමත් කිරීම මෙම නව නියෝගයේ ප්‍රධාන අරමුණයි.
ඩුබායි රජයේ සේවකයින්ට තමන්ගේ සේවා තත්ත්වය, වගකීම් හෝ රැකියා කොන්දේසිවලට බලපාන අවසන් පරිපාලන තීරණ පිළිබඳව අභියාචනා ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව හිමිවේ. එමගින් සේවා ස්ථානය තුළ අපක්ෂපාතීත්වය, රැකියා සුරක්ෂිතභාවය සහ සේවක තෘප්තිය ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ. එසේම රාජ්‍ය සේවා නීති සහ වෘත්තීය චර්යා ධර්මයන්ට අනුකූලව කටයුතු කිරීම සහතික කරමින් සේවකයින්ගේ කාර්යසාධනය හා නවෝත්පාදන හැකියාව දිරිමත් කිරීම ද මෙහි අරමුණකි.
මෙම පියවර ඩුබායි රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ සේවක අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් තැබූ සුවිශේෂී ඉදිරි පියවරක් ලෙස සැලකේ.














