ඇමෙරිකා-ඉරාන යුද්ධයේ බලපෑම හමුවේ ඩුබායි නගරයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය (Financial Hub) ආසන්නයේ අද (මාර්තු 13) ප්‍රබල පිපිරුම් කිහිපයක් වාර්තා වී තිබේ. විදෙස් පුවත් සේවා වාර්තා කරන පරිදි මෙම පිපිරුම්වලින් නගරයේ ගොඩනැගිලි පවා සෙලවී ඇති අතර, ඩුබායි හි ප්‍රධාන මාර්ගය වන ෂෙයික් සයීඩ් (Sheikh Zayed) වීදිය දෙසින් හදිසි අනතුරු ඇඟවීමේ සිරේන් නාද ඇසී ඇත. පිපිරුමත් සමඟ නගරයේ මධ්‍යම ප්‍රදේශයෙන් විශාල දුම් වලාකුළක් අහසට නැගෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද මේ වන විට සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
අද දින මුල් භාගයේදී ද ඩුබායි අහසේදී ඉරාන ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වීමට එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධති සමත් වූ අතර, එහිදී මිසයිල කැබලි පතිත වීමෙන් මධ්‍යම ඩුබායි හි සුළු ගින්නක් හටගෙන තිබුණි. බලධාරීන් තහවුරු කළේ එම සිදුවීමෙන් කිසිදු පුද්ගල හානියක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත්, ඊයේ (මාර්තු 12) දිනයේදී ද ඩුබායි මූල්‍ය දිස්ත්‍රික්කය අසලට ඩ්‍රෝන යානයක් කඩා වැටීම හේතුවෙන් පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශයේ සමාගම් රැසක සේවකයන් ඉවත් කිරීමට පියවර ගැනුණි.
යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා එමීර් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක බලකාය විසින් ඉරානයෙන් එල්ල වූ ඩ්‍රෝන යානා 1,500 කට අධික ප්‍රමාණයක් සහ මිසයිල 300 ක් පමණ සාර්ථකව විනාශ කර තිබේ. පවතින තත්ත්වය හමුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, පාම් ජුමෙයිරා (Palm Jumeirah) සහ බර්ජ් අල් අරාබ් (Burj Al Arab) වැනි ප්‍රධාන සංචාරක ස්ථාන කෙරෙහි ද දැඩි ආරක්ෂක අවධානයක් යොමු කර ඇත. යුදමය තත්ත්වය නිසා නගරයේ දෛනික කටයුතුවලට යම් බාධා පැමිණ ඇතත්, ආරක්ෂාව තහවුරු කිරීමට බලධාරීන් උපරිමයෙන් කටයුතු කරමින් සිටියි.














