ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඩුබායි බලධාරීන් විසින් විදේශීය ගුවන් සමාගම් සඳහා පනවා ඇති සීමාවන් ලබන මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. මෙම තීරණය නිසා ඉන්දීය ගුවන් සමාගම්වලට සියයට සියයකට ආසන්න ආදායම් අහිමි වීමක් සහ මෙහෙයුම් පිරිවැය ඉහළ යාමක් සිදුවනු ඇතැයි වාර්තා වේ.
පැවති උණුසුම් තත්ත්වය මත ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (DXB) සහ අල් මක්ටූම් ගුවන් තොටුපොළ (DWC) වෙත පැමිණීමට අවසර ඇත්තේ දිනකට එක් වටයක ගුවන් ගමනකට (One daily flight) පමණි. මෙම සීමාව විදේශීය ගුවන් සමාගම් සඳහා පමණක් ක්‍රියාත්මක වන අතර එමිරේට්ස් (Emirates) සහ ෆ්ලයිඩුබායි (flydubai) වැනි ඩුබායි රාජ්‍යයට අයත් සමාගම්වලට මෙය අදාළ නොවේ.
ඉන්ඩිගෝ (IndiGo), එයාර් ඉන්දියා (Air India) සහ ස්පයිස්ජෙට් (SpiceJet) යන සමාගම් නියෝජනය කරන ඉන්දීය ගුවන් සමාගම් සම්මේලනය (FIA) පෙන්වා දෙන්නේ මෙය අසමාන තරඟකාරීත්වයක් බවයි. උදාහරණයක් ලෙස ඉන්ඩිගෝ සමාගම දිනකට ගුවන් ගමන් 15ක් සැලසුම් කර තිබුණද දැන් ඔවුන්ට සිදු වී ඇත්තේ එක් ගමනක් පමණක් සිදු කිරීමටයි.
පාකිස්තානු ගුවන් සීමාව තහනම් වීම නිසා ඉන්දීය ගුවන් යානා දැනටමත් වැඩි ඉන්ධන පිරිවැයක් දරා දීර්ඝ මාර්ග ඔස්සේ ගමන් කරයි. මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යාම සහ ඩුබායි ගුවන් ගමන් අවලංගු වීම ඔවුන්ගේ මූල්‍ය ස්ථාවරත්වයට දැඩි පහරක් එල්ල කර තිබේ.
ලුෆ්තන්සා (Lufthansa) සහ බ්‍රිතාන්‍ය ගුවන් සේවය (British Airways) වැනි ජාත්‍යන්තර සමාගම් මැයි 31 දක්වා ඩුබායි වෙත සියලු ගුවන් ගමන් නවතා දමා ඇති අතර, ඔවුන් ඒ වෙනුවට ආසියා-යුරෝපා නොනැවතී ධාවනය වන ගුවන් ගමන් සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ.
මෙම තත්ත්වය හමුවේ ඉන්දීය රජය ඩුබායි බලධාරීන් සමඟ සාකච්ඡා කර මෙම සීමා ඉවත් කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොමැති නම් ඉන්දියාවට පැමිණෙන ඩුබායි ගුවන් සේවාවන්ට ද මෙවැනිම සීමාවන් පැනවිය යුතු බවත් ඉන්දීය ගුවන් සමාගම් ඉල්ලා සිටී.














