ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ (DXB) ආසන්නයේ අද (07) පෙරවරුවේ ප්‍රබල පිපිරීම් ශබ්ද කිහිපයක් ඇසී ඇති අතර ඉන් පසු අහසේ දුමාරයක් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකා-ඉරාන යුද ගැටුම් උච්චතම අවස්ථාවකට පත්ව ඇති පසුබිමක මෙම සිදුවීම වාර්තා වී තිබේ.
ඩුබායි බලධාරීන් පසුව තහවුරු කළේ එල්ල වූ මිසයිල ප්‍රහාරයක් ගුවනේදීම සාර්ථකව ව්‍යර්ථ කළ බවයි. එම විනාශ කළ මිසයිලයේ සුන්බුන් කඩා වැටීම හේතුවෙන් ගුවන්තොටුපොළ අසල සුළු සිදුවීමක් වාර්තා වූ නමුත් ඉන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැත. ආරක්ෂක හේතූන් මත ඩුබායි ගුවන් අවකාශය මේ වන විට හිස් කර ඇති අතර ගුවන් ගමන් රැසක් ප්‍රමාද වී හෝ අවලංගු වී ඇත.
ගුවන්තොටුපොළ බලධාරීන් විසින් විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් සියලුම මගීන්ට සහ සේවකයින්ට වහාම පර්යන්ත ගොඩනැගිල්ල තුළ ඇති ආරක්ෂිත ස්ථාන (Shelter-in-place) කරා යන ලෙස උපදෙස් දී තිබේ. මගීන් කලබල නොවී නිලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු බවත්, වීදුරු අසල හෝ විවෘත ස්ථානවල රැඳී නොසිටිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














