ඉරානය විසින් දියත් කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් අද (31) උදෑසන ඩුබායි නගරය පුරා අවම වශයෙන් ප්‍රබල පිපිරීම් පහක් පමණ සිදුව ඇති බව යුරෝ නිව්ස් (Euronews) පුවත් සේවය වාර්තා කරයි. මෙම ප්‍රහාර එල්ල වීමත් සමඟ නගරවාසීන් කලබලයට පත්ව ආරක්ෂිත භූගත බංකර් සහ නවාතැන් වෙත දිව යන අයුරු දැකගත හැකි වූ බව එම වාර්තා පෙන්වා දෙයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සිය ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඉරානයෙන් පැමිණෙන මිසයිල සහ ඩ්‍රෝන (UAV) තර්ජන මැඩපැවැත්වීමට කටයුතු කරන බවත්ය. අද උදෑසන වාර්තා වූ මෙම පිපිරීම් මීට පෙර සිදුවූ ගුවන් ආරක්ෂක පද්ධතිවල ශබ්දවලට වඩා ප්‍රබල සහ වෙනස් ස්වරූපයක් ගත් බව ඩුබායි හි සිටින මාධ්‍යවේදීහු පවසති.
නගරයේ ඈතින් දුම් පටල විහිදෙන අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතින නමුත්, ප්‍රහාර එල්ල වූ නිශ්චිත ස්ථාන හෝ ඉන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ ඩුබායි වැනි ප්‍රධාන වාණිජ නගරයක් ඉලක්ක වීම ගෝලීය අවධානයට ලක්ව ඇති අතර, පදිංචිකරුවන්ට තවදුරටත් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ.














