පවතින කලාපීය යුදමය තත්ත්වය සහ ඉරාන තර්ජන හමුවේ, ආරක්ෂක පියවරක් ලෙස ඇතැම් ගොඩනැගිලි පරිශ්‍රයන් ඉවත් කිරීමට (Evacuation) සිදුවිය හැකි බව ඩුබායි බලධාරීන් පවසති. මෙවැනි හදිසි අවස්ථාවකදී මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම්වලට කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලසීම මෙහි අරමුණයි.
ඒ අනුව, ඩුබායි ආර්ථික හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් පදිංචිකරුවන් සහ ආයතන අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. ඉවත් කිරීමේ සංඥාවක් නිකුත් වූ වහාම ළඟම ඇති ආරක්ෂිතම මග හරහා ගොඩනැගිල්ලෙන් පිටවිය යුතු අතර, එහිදී විදුලි සෝපාන (Elevators) භාවිතයෙන් වැළකී පියගැටපෙළ භාවිතා කළ යුතුය. දොරවල් වසා දැමිය යුතු වුවත් ඒවා අගුළු නොදැමිය යුතු බවත්, පෞද්ගලික බඩුබාහිරාදිය එකතු කිරීමට කාලය වැය නොකර වහාම රැස්වන ස්ථානය (Assembly area) වෙත යා යුතු බවත් බලධාරීහු උපදෙස් දෙති.
තවද, පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඇතැම් ආයතනවල දෛනික මෙහෙයුම් කටයුතු තාවකාලිකව වෙනස් කිරීමට ඉඩ ඇති බව ද දන්වා ඇත. කිසියම් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇත්නම් වහාම ආරක්ෂක අංශ වෙත දැනුම් දිය යුතු අතර, අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී නිල පුවත් සේවා (Official channels) මගින් නිකුත් කරන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස ඩුබායි රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














