අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය වාතාවරණය හමුවේ තාවකාලිකව අත්හිටුවා තිබූ ඩුබායි හි VFS Global වීසා මධ්‍යස්ථානයේ මෙහෙයුම් අද (04) සිට සීමිත මට්ටමින් යළි ආරම්භ කර තිබේ. කලාපීය ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙතෙක් නව අයදුම්පත් භාර ගැනීම නවතා දමා තිබුණ ද, එක්සත් රාජධානිය (UK) වැනි රටවල් කිහිපයක් සඳහා යළිත් වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
ඩුබායි හි පිහිටි එක්සත් රාජධානියේ වීසා අයදුම්පත් මධ්‍යස්ථාන (VACs) මාර්තු 4 වැනිදා සිට යළිත් නව අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර තිබේ. මේ අනුව අයදුම්කරුවන්ට අන්තර්ජාලය හරහා නව වේලාවන් වෙන් කරවා ගැනීමට හෝ මීට පෙර වෙන් කරගත් වේලාවන් වෙනස් කර ගැනීමට හැකියාව පවතී. මධ්‍යස්ථානය වසා තිබූ කාලය තුළ වේලාවන් වෙන් කරගෙන තිබූ පිරිසට නව වේලාවන් ලබා දීම සඳහා VFS කාර්ය මණ්ඩලය දුරකථන හෝ විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධ වනු ඇත.
ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් රැසක් සඳහා තවමත් නව වීසා අයදුම්පත් භාර ගැනීම සිදු නොකෙරේ. එම රටවල් සඳහා VFS මධ්‍යස්ථානය විවෘතව පවතින්නේ දැනටමත් ඉදිරිපත් කර ඇති අයදුම්පත්වලට අදාළ ගමන් බලපත්‍ර (Passports) නැවත ලබා දීම සඳහා පමණි. පවතින ආරක්ෂක රෙගුලාසි මත නව දැනුම්දීමක් කරන තුරු එම රටවල් සඳහා අයදුම්පත් භාර නොගන්නා බව තානාපති කාර්යාල දන්වා ඇත.
ඔස්ට්‍රියාව, බල්ගේරියාව, ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයිස්ලන්තය, ඊශ්‍රායලය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෝර්වේ, පෘතුගාලය, ස්ලෝවැකියාව, දකුණු අප්‍රිකාව, ස්වීඩනය සහ නෙදර්ලන්තය යන රටවල් දැනට ක්‍රියාත්මක වන්නේ ගමන් බලපත්‍ර නැවත ලබා දීම සඳහා පමණි.












