ප්‍රකට සහල් මෝල් හිමියන් වන ඩඩ්ලි සිරිසේන සහ මිත්‍රපාල ලංකේෂ්වර යන මහත්වරුන් ගුවන් යානා මිලදී ගැනීමට සූදානම් වන බවට ප්‍රචාරය වුවද, ඒ සඳහා අවශ්‍ය වන ගුවන් මෙහෙයුම් සහතිකය (AOC) ලබා ගැනීමට ඔවුන් මෙතෙක් නිල වශයෙන් අයදුම් කර නොමැති බව වාර්තා වේ. ඕනෑම පුද්ගලයෙකු හෝ ආයතනයක් ගුවන් යානා මෙහෙයවීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් (CAA) බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ. පියවර පහකින් යුත් සංකීර්ණ ක්‍රියාවලියක් සහිත මෙම බලපත්‍ර ලබාගැනීම සඳහා අදාළ ව්‍යාපාරිකයන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මේ අතර, ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර මහතා පවසන්නේ ලබන මාසයේදී ගුවන් යානයක් මිලදී ගැනීම සඳහා තමන් ඇමරිකා එක්සත් ජනපදය බලා යාමට සැලසුම් කර ඇති බවයි.















