ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු ටෙන්ඩරයක් හේතුවෙන් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් බිලියන 100ක් නොහොත් රුපියල් කෝටි 10,000ක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය පිළිබඳ පැවැති කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, අදාළ ගිවිසුම යටතේ නෞකා දෙකක් නොපැමිණියේ නම් ටෙන්ඩරය අවලංගු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට හැකියාව තිබුණද, එසේ නොකිරීම බරපතල ගැටලුවක් බවයි. දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා පැමිණිය යුතු වූ නෞකා 15න් පැමිණ ඇත්තේ නෞකා 8ක් පමණක් බවත්, එම ප්‍රමාදය නිසාම රුපියල් බිලියන 31ක පාඩුවක් සිදුව ඇති බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය.
මෙම අතිවිශාල මූල්‍ය අලාභය ජනතාවගේ සංවර්ධනයට යෙදවිය හැකිව තිබූ ආකාරය ද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය. ඔහුට අනුව, මෙම පාඩු වූ මුදලින් රටේ සෑම ගොවියෙකුටම වී කිලෝවකට රුපියල් 40ක අතිරේක මුදලක් ලබා දීමට හෝ සෑම පාසලකටම ‘සුහුරු’ (Smart) පන්ති කාමර හතර බැගින් ලබා දීමට හැකියාව තිබුණි. එසේම මුළු දිවයිනේම මාර්ග කිලෝමීටර් 7,500ක් කාපට් කිරීමට ද එම මුදල ප්‍රමාණවත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මගඩිය හේතුවෙන් සිදුවූ රුපියල් කෝටි 10,000ක පාඩුව පියවා ගැනීම සඳහා රජය විදුලි බිල 10%කින් වැඩි කිරීමට සූදානම් වන බවට චානක මහතා චෝදනා කළේය. ආණ්ඩුව වැඩි කිරීමට අපේක්ෂිත එම 10%ක ප්‍රමාණය හරියටම රුපියල් කෝටි 10,000ක අගයක් ගන්නා බවත්, ජනතාව පිට එම බර පැටවීම අසාධාරණ බවත් ඔහු අවධාරණය කළේය.














