මෙවර පාස්කු උත්සව සමය එළඹෙත්ම යුරෝපය ඇතුළු ලොව පුරා චොකලට් නිෂ්පාදනවල මිල ගණන් පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ. ආර්ථික විශ්ලේෂකයින් මෙය ‘Easter Eggflation’ ලෙස හඳුන්වන අතර පසුගිය වසර තුන ඇතුළත බ්‍රිතාන්‍යය වැනි රටවල ජනප්‍රිය පාස්කු බිත්තර (Easter Eggs) වල මිල තුනෙන් දෙකකින් (66%) පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සමහර සන්නාමයන්හි මිල 105% ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇත. මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවූ දේශගුණික විපර්යාසයන් ය. ලොව කොකෝවා නිෂ්පාදනයෙන් 60% කට වඩා වැඩි ප්‍රමාණයක් සපයන බටහිර අප්‍රිකානු රටවල් වන අයිවරි කෝස්ට් (Côte d’Ivoire) සහ ඝානාව දරුණු පාරිසරික අභියෝගයන්ට මුහුණ දී සිටී.
2023 වසරේදී බටහිර අප්‍රිකාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කොකෝවා වගාවන් සඳහා ‘කළු කරල් රෝගය’ (Black pod disease) ව්‍යාප්ත වූ අතර 2024 වසරේදී ඇතිවූ දරුණු නියඟය සහ ලැව්ගිනි හේතුවෙන් අස්වැන්න විශාල ලෙස විනාශ විය
මෙම අහිතකර කාලගුණය නිසා කොකෝවා අස්වැන්න 40% කින් පමණ පහත වැටී ඇති අතර ලෝක වෙළඳපොළේ කොකෝවා ටොන්නයක මිල 2024 අගභාගයේදී ඩොලර් 12,000 ඉක්මවා යමින් වාර්තාගත ලෙස ඉහළ ගියේය.
මිල ඉහළ යාමට අමතරව නිෂ්පාදකයින් විසින් චොකලට් බාර් සහ බිත්තරවල ප්‍රමාණය (බර) අඩු කරමින් පැරණි මිලටම හෝ වැඩි මිලකට අලෙවි කිරීමේ උපක්‍රමයක් ද අනුගමනය කරනු ලබයි.
වර්තමානයේ පවතින ඇමරිකා – ඉරාන යුද ගැටුම් හේතුවෙන් පොහොර මිල සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම ද චොකලට් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට වක්‍රව බලපා ඇත.
දැනට ලෝක වෙළඳපොළේ කොකෝවා මිල සුළු වශයෙන් පහත වැටෙමින් පැවතියද එම සහනය පාරිභෝගිකයාට ලැබීමට තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි පැවසේ. මන්දයත් දැනට වෙළඳපොළේ ඇති නිෂ්පාදන නිපදවා ඇත්තේ කොකෝවා මිල උපරිම මට්ටමක පැවති කාලසීමාවේදී බැවිනි.














