මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ හමුවක් පවත්වා තිබේ. අපනයන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සහ අපනයනකරුවන්ට අවශ්‍ය සහන හඳුනා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මෙන්ම ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය, කුළුබඩු සහ පලතුරු හා එළවළු අපනයනකරුවන්ගේ සංගම් ඇතුළු පෞද්ගලික අංශයේ නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ. විශේෂයෙන්ම පර්සියානු බොක්කේ නෞකාවලට එල්ල වන ප්‍රහාර හමුවේ භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
කලාපීය අභියෝග හමුවේ අපනයනකරුවන්ට උපරිම සහයෝගය ලබාදීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය අපේක්ෂා කරන අතර, මෙහිදී මතු වූ ගැටලු ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩලය (EDCM) වෙත ඉදිරිපත් කිරීමට ද තීරණය කර ඇත. තේ, කුළුබඩු සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි ප්‍රධාන අපනයන අංශවල ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙහි ප්‍රමුඛතාවක් වනු ඇත.














