මසක් පුරා පැවති රාමසාන් උපවාස සමය නිමා කරමින් ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරනු ලබන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අද (21) දිනට යෙදී තිබේ. කොළඹ මහ පල්ලිය විසින් ඊයේ රාත්‍රියේ නව සඳ දිස්වීම තහවුරු කිරීමත් සමඟ අද දිනයේ උත්සවය සැමරීමට මුස්ලිම් ජනතාව සූදානම් විය. ඉස්ලාමීය දින දර්ශනයේ නවවන මාසය වන ශුද්ධ වූ රාමසාන් මාසය, මුහම්මද් තුමාණන්ට අල් කුර්ආනය හෙළිදරව් වූ කාලය ලෙස සලකනු ලබන අතර, මෙම මාසය පුරා බැතිමතුන් හිරු උදාවේ සිට හිරු බැසීම දක්වා නිරාහාරව සිටිමින් ස්වයං විනය සහ යාච්ඤාව ප්‍රගුණ කරනු ලබයි.
මෙම ආගමික වතාවත් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් රජය ද විශේෂ පියවර ගෙන තිබුණි. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයක් මඟින් පෙබරවාරි 19 සිට මාර්තු 21 දක්වා කාලය තුළ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට ආගමික කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාව ලබා දෙන ලෙස සියලුම ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබුණි. වත්මන් ගෝලීය අර්බුද හමුවේ වුවද, සහෝදරත්වය සහ බෙදාහදා ගැනීම පෙරදැරි කරගත් රාමසාන් උත්සවය මෙරට සංහිඳියාව ශක්තිමත් කිරීමට මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














