කැලිෆෝනියාවේ සියෙරා නෙවාඩා (Sierra Nevada) කඳුවැටියේ සිදු වූ දරුණු හිම කන්දක් කඩා වැටීමකින් (Avalanche) පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය පසුගිය දශක හතරක කාලය තුළ එම ප්‍රදේශයෙන් වාර්තා වූ දරුණුතම සහ මාරාන්තිකම හිම අනතුර ලෙස හඳුනාගෙන තිබේ. ප්‍රකට සංචාරක කලාපයක් වන ලේක් ටාහෝ (Lake Tahoe) ආසන්නයේ මෙම අනතුර සිදුව ඇත්තේ එම ප්‍රදේශයට බලපා ඇති දැඩි ශීත ඍතු කුණාටුවක් සහ අධික හිම පතනයක් පවතින පසුබිමකය.
අනතුර සිදුවන අවස්ථාවේදී ස්කී (Ski) ක්‍රීඩකයින් 15 දෙනෙකු එම ප්‍රදේශයේ සිට ඇති අතර, ඉන් හය දෙනෙකු පණපිටින් බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව ඇත. කෙසේ වෙතත්, තවත් එක් අයෙකු තවමත් අතුරුදහන්ව ඇති බව නෙවාඩා ප්‍රාන්තයේ ෂෙරිෆ් ෂැනන් මූන් (Shannon Moon) ප්‍රකාශ කර තිබේ. පවතින අයහපත් කාලගුණය සහ දැඩි ශීතල හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.














