ලොව දැඩිම ගබ්සා නීති පවතින රටක් ලෙස සැලකෙන එල් සැල්වදෝරයේ, දරු ගැබ් ගිලිහී යාම (Miscarriages) වැනි ස්වභාවික හේතූන් මත සිදුවන සිදුවීම් පවා සාහසික මිනීමැරුම් ලෙස සලකා කාන්තාවන් වසර 50ක් දක්වා සිරගත කිරීමේ අභාග්‍යසම්පන්න තත්ත්වයක් උද්ගතව තිබේ. වසර ගණනාවක සිවිල් අරගල හමුවේ කාන්තාවන් 81 දෙනෙකු නිදහස් කර ගැනීමට හැකි වුවද, ජනාධිපති නයිබ් බුකේලේ (Nayib Bukele) පැනවූ හදිසි නීති තත්ත්වය හමුවේ මෙම ප්‍රගතිය යළිත් ආපසු හැරෙමින් පවතින බව මානව හිමිකම් සංවිධාන පවසයි.
එල් සැල්වදෝරයේ 1998 සිට ගබ්සාව සෑම තත්ත්වයක් යටතේම තහනම් කර ඇති අතර, දූෂණයකට ලක්වීමකින් හෝ මවගේ පණ බේරා ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී පවා එයට අවසර නැත. වර්තමානයේ පවතින ‘හදිසි තත්ත්වය’ (State of exception) යටතේ රෝහල් කාර්ය මණ්ඩලය වෙත පවා රජයෙන් දැඩි බලපෑම් එල්ල වන අතර, ගැබ්ගෙල ආශ්‍රිත හදිසි වෛද්‍ය තත්ත්වයන් සහිතව රෝහල් ගතවන කාන්තාවන් පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කිරීමට ඔවුන්ට සිදුව ඇත. මේ වන විටත් කාන්තාවන් 29 දෙනෙකුට අධික පිරිසක් අලුතින් පරීක්ෂණවලට මුහුණ දී සිටින අතර, ඔවුන්ට නීතිඥ සහාය ලබා ගැනීමට ඇති අයිතිය පවා අහිමි කර තිබේ.
ජනාධිපති බුකේලේගේ පාලනය යටතේ රෝහල් තුළ පවා කැමරා සවිකර වෛද්‍යවරුන් සහ රෝගීන් නිරීක්ෂණය කරන බවට චෝදනා එල්ල වේ. මානව හිමිකම් ක්‍රියාකාරිනී මොරේනා හෙරේරා පවසන්නේ, පවතින භීෂණාත්මක වාතාවරණය හමුවේ කාන්තාවන් තමන්ට සිදුවන අසාධාරණයන් ගැන කතා කිරීමට පවා බිය වන බවයි. අර්ජන්ටිනාව, චිලී සහ ඉක්වදෝරය වැනි අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවල ද ගතානුගතික පාලකයන් බලයට පත්වීමත් සමඟ කාන්තා අයිතිවාසිකම් මේ ආකාරයෙන්ම දරුණු ලෙස සීමා වෙමින් පවතී.














