ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ඝාසිබාද් (Ghaziabad) දිස්ත්‍රික්කයේ ලෝනි (Loni) ප්‍රදේශයේදී අද (23) උදෑසන මියගිය මයුරන් 11 දෙනෙකුගේ සිරුරු හමුවී තිබේ. ඉන්දියාවේ ජාතික පක්ෂියා ලෙස සැලකෙන මයුරන් මෙලෙස සමූහ වශයෙන් මියයාම පිළිබඳව බලධාරීන්ගේ විශේෂ අවධානය යොමු වී ඇත.
වනජීවී නිලධාරීන් එම ස්ථානයට යන විට මයුරන් 10 දෙනෙකු මියගොස් සිටි අතර, එක් මයුරෙකු දැඩි විජලන තත්ත්වයෙන් පසුවෙමින් සිටියදී පසුව මියගොස් තිබේ. සිරුරුවල බාහිර තුවාල හෝ දඩයම්කරුවන් විසින් සිදුකළ හානි පිළිබඳ සලකුණු දක්නට නොලැබුණු බව වනාන්තර නිලධාරිනී ඉෂා තිවාරි (Isha Tiwari) මහත්මිය සඳහන් කළාය.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අසල පිහිටි රාබු වගා කර ඇති කෘෂිකාර්මික භූමියකට ඉකුත් ඉරිදා (පෙබරවාරි 22) දින පොස්පේට් (Phosphate) මිශ්‍ර ජලය යොදා ඇති බවයි. මෙම රසායනික ද්‍රව්‍ය මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් පක්ෂීන් මියයන්නට ඇති බවට වනජීවී අංශ සැක පළ කරයි.
1972 වනජීවී (ආරක්ෂණ) පනතේ (Wildlife Protection Act) 1 වන උපලේඛනය යටතේ මයුරා ඉතා ඉහළ ආරක්ෂාවක් සහිත පක්ෂියෙකු ලෙස නම් කර ඇත. ජාතික පක්ෂියා ඝාතනය කිරීම හෝ දඩයම් කිරීම වසර 7ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි. අදාළ වගාබිම් හිමිකරුගෙන් මේ වන විට ප්‍රශ්න කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු වැඩිදුර නීතිමය පියවර ගැනීමට පොලිසිය සූදානම් වේ.














