එංගලන්ත කාන්තා රග්බි කණ්ඩායමේ (Red Roses) සුපිරි ක්‍රීඩිකා එලී කිල්ඩන් (Ellie Kildunne), පසුගියදා පැවති ලෝක කුසලාන රග්බි තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව තමන් මානසිකව දැඩි ඇද වැටීමකට සහ හුදෙකලාවකට ලක්වූ බව විවෘතව අනාවරණය කර තිබේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ලන්ඩන් නුවර ඇලියන්ස් ක්‍රීඩාංගණයේ 82,000ක ප්‍රේක්ෂක පිරිසක් මැද කැනඩාව පරාජය කරමින් එංගලන්තය වසර 11කට පසු ලෝක කුසලානය දිනාගත් අතර, එහිදී ඇය සුවිශේෂී දක්ෂතා දැක්වූවාය.
කෙසේ වෙතත්, එම අතිවිශාල ජයග්‍රහණයෙන් සති හතරකට පසු ඇය නැවතත් සිය ක්‍රීඩා සමාජය වන හැරික්වින්ස් (Harlequins) කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අවස්ථාවේදී දක්නට ලැබුණේ ප්‍රේක්ෂකයින් 3,000කටත් අඩු පිරිසකි. 82,000ක ජනකායක් මැද ලෝක කුසලානයක් දිනා එකවරම මෙලෙස සාමාන්‍ය තරග රටාවකට පිවිසීම තමන් තුළ “මම මේ දේවල් කරන්නේ ඇයි?” යන ප්‍රශ්නය මතු කළ බව 26 හැවිරිදි කිල්ඩන් බීබීසී පුවත් සේවයට පවසා ඇත.
ලෝක කුසලාන සමයේදී සිය සගයන් සමඟ නිරන්තරයෙන් රැඳී සිටි ඇය, තරගාවලිය නිමවී නැවත රීඩින් (Reading) හි පිහිටි සිය නිවසට පැමිණ තනිව ජීවත් වීමට පටන් ගත් විට දැඩි පාළුවක් දැනුණු බවත්, මානසිකව ඇතිවූ මෙම පසුබෑම පිළිබඳව කතා කිරීමට පවා කෙනෙකු නොසිටි බවත් ඇය පවසා සිටියි. ඕනෑම උච්චතම ජයග්‍රහණයකින් පසු මෙවැනි මානසික ඇද වැටීමක් ස්වභාවික බව පවසන ඇය, මෙම අත්දැකීම හරහා මිනිසුන් සමඟ ගත කරන කාලයේ වටිනාකම තමන් තවදුරටත් වටහා ගත් බව ද වැඩිදුරටත් සඳහන් කළාය.















