තලවකැලේ, සෙන් ක්ලෙයාර් දිය ඇල්ල රක්ෂිත ප්‍රදේශයේ අද (08) දහවල් හදිසි ගින්නක් හටගෙන ඇති බව දිඹුල පතන පොලිසිය වාර්තා කරයි. පවතින දැඩි වියළි කාලගුණය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් රක්ෂිතය පුරා ගින්න වේගයෙන් පැතිර යමින් පවතී.
මෙම ගින්නෙන් සිදු වූ හානි පිළිබඳ තොරතුරු මෙසේය. රක්ෂිතය තුළ ඉදිකර තිබූ සංචාරක නිවාඩු නිකේතනයක් ගින්නට හසුව මුළුමනින්ම විනාශ වී ඇති අතර, එම ප්‍රදේශයට ඇද තිබූ දුරකථන රැහැන් පද්ධතියට ද දැඩි හානි සිදුව තිබේ. කිසියම් පිරිසක් විසින් රක්ෂිතයේ ඉලුක් සහිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ ගින්න පාලනය කිරීම සඳහා කොටගල යුද හමුදා කඳවුරේ භට පිරිස්වල සහය ඉල්ලා ඇති බවයි. ප්‍රදේශයේ ජනතාවට සහ දේපළවලට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා සහන සේවකයෝ මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙති.














