හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීම සඳහා රජය ඉදිරිපත් කළ කරුණු කිසිසේත් පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර රටේ යුද්ධයක් පවතින අවස්ථාවල පවා හදිසි නීතියට විරුද්ධව කටයුතු කළ ආකාරය පෙන්වා දුන් මන්ත්‍රීවරයා, බලය ලබාගත් පසු ඔවුන් එම ප්‍රතිපත්ති සියල්ල අමතක කර දමා ඇතැයි චෝදනා කළේය.
පාතාලය මර්දනය කරන බවට සහ රටේ ආරක්ෂාව තහවුරු කරන බවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රටේ වත්මන් තත්ත්වය අනුව හදිසි නීතියක් පවත්වාගෙන යාමේ කිසිදු අවශ්‍යතාවක් නැති බවත්, ආණ්ඩුව උත්සාහ කරන්නේ හදිසි නීතිය මුවාවෙන් ජනතාව මර්දනය කිරීමට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පසුගිය වසර 76ක කාලයට දොස් පවරමින් බලයට පත් වූ කණ්ඩායම අන්තිමේදී රට තවදුරටත් අපහසුතාවයට පත් කරමින් සිටින බව ද අලවතුවල මහතා කියා සිටියේය.














