පසුගිය මාස තුනක කාලය තුළ රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වූ බවත්, එම කාලය තුළ කිසියම් හෝ මර්දනයක් සිදු වූයේ නම් එවැනි නිශ්චිත සිද්ධියක් පෙන්වා දෙන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විපක්ෂයට අභියෝග කළාය. හදිසි නීතිය දිගු කිරීමේ විවාදයට අද (06) පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
හදිසි නීතිය මගින් මර්දනයක් සිදුවන බවට විපක්ෂය දිගින් දිගටම චෝදනා කළ ද, පසුගිය මාස කිහිපය තුළ රටේ විවිධ විරෝධතා පැවැත් වූ බවත් ඒ කිසිවකට රජය බාධා නොකළ බවත් ඇය පෙන්වා දුන්නාය. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට සංවිධානය වීමට සහ විරෝධතා දැක්වීමට පූර්ණ අයිතිය පවතින බවත්, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පවා පැවැති විරෝධතාවලදී කිසිදු මර්දනයක් සිදු නොවූ බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
විපක්ෂය පවසන පරිදි ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් එල්ල වී තිබේ නම්, ඒ කුමන අවස්ථාවකදැයි පැහැදිලි කරන ලෙස ඇය මෙහිදී ප්‍රශ්න කළාය.














