අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයේ සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (18) පෙරවරුවේ සිට කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම නඩත්තු කටයුතු හේතුවෙන් මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, දෙහිවල, ගල්කිස්ස, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොළොන්නාව යන ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. මීට අමතරව බත්තරමුල්ල ප්‍රදේශයේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදු වන බව ද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
දැනටමත් අදාළ ස්ථානයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර, ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට ගතවන නිශ්චිත කාලය මෙතෙක් නිවේදනය කර නොමැත. කෙසේ වෙතත්, අලුත්වැඩියා කටයුතු නිම වූ වහාම ප්‍රදේශ කිහිපයකට ජලය මුදා හැරීමට පියවර ගන්නා බවත්, ජලය ලැබුණු පසු මුල් පැය කිහිපය තුළ නළ මාර්ගවල ඇති වන පීඩනය හේතුවෙන් ජලය යම් ප්‍රමාණයක බොර පැහැයක් ගත හැකි බවත් ජල සම්පාදන මණ්ඩලය මහජනතාවට දන්වා සිටියි. දෛනික අවශ්‍යතා සඳහා අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙසත්, ඉදිරි දැනුම්දීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.














