මැදපෙරදිග කලාපීය ගුවන් සීමාවන් අඛණ්ඩව වසා තැබීම හේතුවෙන් ඩුබායි සිට ක්‍රියාත්මක වන සියලුම එමිරේට්ස් (Emirates) ගුවන් ගමන් අත්හිටුවීම 2026 මාර්තු 3 වන අඟහරුවාදා දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වේලාවෙන් පස්වරු 3:00 දක්වා දීර්ඝ කිරීමට එම සමාගම තීරණය කර ඇත. පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් මෙහෙයුම් සිදු කිරීම අවදානම් සහගත බැවින්, අදාළ බලධාරීන් සමඟ සම්බන්ධ වෙමින් තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරන බව ගුවන් සමාගම පවසයි.
ගුවන් ගමන් අවලංගු වීම නිසා පීඩාවට පත් මගීන්ට මාර්තු 20 වනදා හෝ ඊට පෙර දිනක විකල්ප ගුවන් ගමන් සඳහා නොමිලේ වෙන් කරවා ගැනීම් (Rebooking) සිදු කිරීමට හෝ මුදල් ආපසු ලබා ගැනීමට (Refund) අවස්ථාව සලසා දී තිබේ. සංචාරක නියෝජිතයන් හරහා ටිකට්පත් වෙන් කරවා ගත් මගීන් සිය නියෝජිතයා සම්බන්ධ කර ගත යුතු අතර, එමිරේට්ස් වෙබ් අඩවිය හරහා වෙන් කරවා ගැනීම් කළ මගීන්ට එම සමාගමේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ සහාය ලබාගත හැකිය.
මේ අතර, ඩුබායි නගරය පුරා පිහිටි සියලුම ‘City Check-in’ මධ්‍යස්ථාන ද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා ඇත. මගීන් ගුවන්තොටුපළ වෙත පැමිණීමට පෙර සිය විද්‍යුත් තැපෑල (Email) පරීක්ෂා කරන ලෙස හෝ ගුවන් ගමනේ වත්මන් තත්ත්වය පිළිබඳව වෙබ් අඩවිය හරහා තහවුරු කර ගන්නා ලෙස එමිරේට්ස් සමාගම උපදෙස් දෙයි. මෙම බාධාවන් හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව සමාව අයදින එම සමාගම, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තමන්ගේ ප්‍රමුඛතම වගකීම බව අවධාරණය කර සිටියි.














