එංගලන්තයේ සවුත්හැම්ප්ටන් නුවර සරණාගතයින් සඳහා වෙන් කළ හෝටලයක සේවකයන් දෙදෙනෙකුට පහර දී ඔවුන් ඉදිරියේ නිරුවත ප්‍රදර්ශනය කළ බවට චෝදනා ලැබූ 38 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වරදකරු බවට බ්‍රිතාන්‍ය අධිකරණය තීරණය කර තිබේ. සුකීර්තන් තංගරාසා නමැති මෙම පුද්ගලයාට එරෙහිව පෝර්ට්ස්මත් ක්‍රවුන් (Portsmouth Crown Court) අධිකරණයේදී නඩු විභාගය පවත්වා ඇති අතර, එහිදී ඔහුට සහාය වීම සඳහා දෙමළ භාෂා පරිවර්තකයෙකුගේ සේවය ද ලබා දී තිබුණි.
පසුගිය 2025 වසරේ අගෝස්තු මාසයේදී සිදුවූ මෙම සිදුවීමට මුල් වී ඇත්තේ සැකකරුගේ ජංගම දුරකථනය ක්‍රියා නොකිරීම හේතුවෙන් ඇති වූ කෝපයයි. එහිදී ඔහු හෝටලයේ පිළිගැනීමේ නිලධාරීන් සමඟ වාද කරමින් තමන් ශ්‍රී ලාංකිකයෙකු බවත්, ඉන්දියාවේ සහ පකිස්තානයේ වෙසෙන කුඩා මිනිසුන් තමන්ට ගරු කළ යුතු බවත් පවසමින් ජාතිවාදී ස්වරූපයෙන් බැණ වැදී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. එමෙන්ම ඔහු සිය නිරුවත ප්‍රදර්ශනය කර ඇති අතර, එය වැළැක්වීමට උත්සාහ කළ සේවකයන්ට පහර දීම ද සිදු කර ඇත. ආරක්ෂක කැමරා දර්ශන මගින් මෙම සියලු සිදුවීම් සනාථ වී ඇති අතර, තමන් නිරුවත ප්‍රදර්ශනය කළ බව ඔහු පිළිගත්ත ද එය බිය ගැන්වීමේ චේතනාවෙන් කළ දෙයක් නොවන බව ඔහු පවසා තිබේ. කෙසේ වෙතත්, ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලූ ජූරි සභාව ඔහු වරදකරු බවට තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වේ.














