සේවක අර්ථසාධක අරමුදලෙන් (EPF) වංචනික ලෙස මුදල් ලබාගැනීමේ ජාවාරමකට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) දින සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් CID නිලධාරීන් ප්‍රකාශ කළේ, රජයේ ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලැබූ බවට ව්‍යාජ ලේඛන සකස් කර අදාළ අරමුදල් ලබාගැනීම සඳහා සැකකරු කුමන්ත්‍රණය කර ඇති බවයි.
මෙම වංචාව සම්බන්ධයෙන් මීට පෙර පිරිමි පුද්ගලයන් හය දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබිණි. අලුතින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු, මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සැකකාරියකගේ ස්වාමිපුරුෂයා බව ද අනාවරණය වී ඇත. රජයේ ලේඛන සූක්ෂ්ම ලෙස ව්‍යාජව සකස් කරමින් රජයේ සේවයට එක්වූ බව අඟවා මෙම අරමුදල් වංචනිකව ලබාගැනීමට ඔවුන් සැලසුම් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ තවත් පිරිස් සිටින්නේද යන්න පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි. සේවක අර්ථසාධක අරමුදල වැනි මහජන මුදල් සුරක්ෂිත කිරීම සඳහා මෙවැනි ජාවාරම්කරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීමට බලධාරීන් දැඩි අවධානයක් යොමු කර ඇත.













