8 September 2024
#දේශීය #පුවත්

එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ අබලන් වු වහලය නිසා සිසුන්ගේ ජිවිත අනතුරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ , තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටීමට ආසන්නයේ පවතින බැවින් තම දරුවන් තම දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව පවතින බව එම පෙරපාසලේ දරුවන්ගේ දෙමාපියන් පවසති.

වසර 50 කට පමණ ඉහතදී මහවැලි අධිකාරීය මගින් ප්‍රදේශයේ දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ඉදි කර ඇති අතර, එදා සිට මේ දක්වා මෙම ගොඩනැගිල්ලේ කිසිදු ප්‍රථිසංස්කරණය සිදු වී නොමැති බවට දෙමාපියන් පවසති.

පෙර පාසල් පාලිකාවක විසින් ප්‍රදේශයේ දරුවන් 25 කට මූලික අධ්‍යාපනය මෙම පෙර පාසල තුළ ලබා දෙන්නේ ජල හා විදුලි යන මූලික පහසුකම්ද නොමැතිවයි.

මෙම පෙර පාසල් ගොඩනැගිල්ලේ වහළයේ පරාල හා රීප්ප දිරාපත් වී, බිත්ති ඉරි තැලී, දොර ජනෙල්ද කැඩී බිදී ගොස් තිබූ මෙම පෙර පාසල් ගොඩනැගිල්ලේ මේ දින වල ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ උළු සෙවිලි කළ වහලය කඩා වැටීමේ අවධානමකට ලක්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙති.

මේ හේතුවෙන් දරුවන් පෙර පාසල් ගොඩනැගිල්ල තුළ රදවාගැනීමද අවධානමක් වන බැවින් දෙමාපියන්ට දරුවන් පෙර පාසල් නොඑවා නිවසේ තබා ගැනීමට සිදුව ඇතැයි දෙමාපියෝ පවසති.එසේ සිදු කිරීම මගින් තම දරුවන්ගේ මූලික අධ්‍යාපන කටයුතු කඩා වැටෙන බවද දෙමාපියෝ පවසති.

දරුවන් පෙර පාසල තුළ රැදී සිටින මොහොතක යම් හෙයකින් වහලය කඩා වැටී විශාල අනතුරක් සිදු වූ පසු කණගාටුව ප්‍රකාශ කර වහා විසදුම් දෙනවා වෙනුවට අවදානමක් ඇති වී ඇති මේ මොහොතේම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තම දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය ගැන සිතා මෙම පෙර පාසල් ගොඩනැගිල්ල ප්‍රථිසංස්කරණය කර දෙන ලෙස ඔවුන් බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *